
මේ වන විට රටේ පවතින ගෑස් පෝලිම, පෙට්‍රල් පෝලිම, විදුලි කප්පාදුව, බෙහෙත් හිගයට විසදුම් සෙවීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් විදේශ ගත ශ්‍රමිකයින් හරහා මෙරටට ගෙන්වා ගත යුතු බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.
ඩොලර් මිලියන 500 කොටස්කරුවෙක් බවට පත්වන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
ඩොලර් මිලියන 500ක් මේ රටට එව්වොත් මේ පෝලිම් ටික නැති කරන්න පුලුවන්. අපේ රටේ ජනතාවගේ දුක නැති කරන්න පුලුවන්. ඒ එන මුදල ඒ කාර්යය සදහා යොදවන බවට අපි සහතික වෙනවා. මේ රටේ ජනතාව දුක් විදින එක ඔබට බලාගෙන ඉන්න අමාරුයි කියලා අපි දන්නවා. ඒ නිසා ඒ වෙනුවෙන් අපිට දෙන්න පුවන් පූර්ණ සහාය ලබාදෙන්න කියලා ඉල්ලනවා.

මේ ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ මුදල් එවීමේදී, එවන ලද මුදල් ප්‍රමාණය මත තීරුබදු සහන ලබාගැනීමේ අවස්ථාව ලබාදීමේදී, අදාල සහන වැඩි කිරීමට අපි අද දිනයේදී කැබිනට් මණ්ඩලයට යෝජනා කරනවා. ඒ වගේම වසරක කාලයක් ඇතුළත ඩොලර් ලක්ෂයක මුදලක් ලංකාවට එවලා තියෙනවා නම් වාහනයක් ආනයනය කිරීමේ අවසර පත්‍රයක් ලබාදීමට අපි යෝජනා කරනවා. ඒ වගේම යම් බදු සහනයක්, ලබාදීමටත් යෝජනා කරනවා.
ඒ වගේම අඩු පොලීයට නිවාස ණයක්, ලංකාවට එවූ මුදල්වලට සාපේක්ෂව ලබාදීමට අපි යෝජනා කරනවා. සහන පොලීයට ණය ලබාදීමටත් අපි යෝජනා කරනවා. ඒ වගේම ඩොලර් පනස් දහසක්වත් එවලා තියෙනවා නම් පාසල්වලට සහ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් කිරිමේදී ලකුණු ක්‍රමවේදයක් හදන්න කියලා අපි ඉල්ලනවා.

ඒ වගේම විදෙස් ගත ශ්‍රමිකයින් එවන මුදල් ප්‍රමාණය මත රජයේ ඉඩම් ඔවුන් වෙත ලබාදීමේ සහන වැඩපිළිවෙලක් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට අපි යෝජනා කරනවා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයින් සදහාම වූ විශේෂ කාඩ් පතක් අපි හදුන්වා දෙනවා. ඒ කාඩ් එක හරහා, ලංකාවට එද්දීත්, තමන්ගේ පවුලේ අයටත් වට්ටම් ලබාදීමට ආයතන රැසක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ වට්ටම විගමණික ශ්‍රමිකයාට ඔහුට විතරක් නෙමෙයි, ඔහුගේ පවුලේ අයටත් ලබාදීමට අපි කටයුතු කරනවා.