ලොව ධනවත්ම රටවල් 07 ලංකාවේ උදව්වට එයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ලොව ධනවත්ම රටවල් 07 ලංකාවේ උදව්වට එයි

ලොව ධනවත්ම රටවල් 07 ලංකාවේ උදව්වට එයි

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට සහනයක් සැළසීම සඳහා ජී7 රටවල මුදල් අමාත්‍යවරුන් එකග වී තිබෙනවා.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඵලදායක සාකච්ඡා මාලාවකට එළැඹ විධිමත් ණය වැඩසටහනකට පිවිසීමට ශ්‍රී ලංකාවට දැනුම් දෙන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණදෙන ණය අර්බුදය විසඳීම සඳහා දීර්ඝ කාලීන විසඳුම් සෙවීමට කැපවන බවටද ජී7 රාජ්‍ය නායකයන් සහතික වනවා.

ඊයේ සකස් කර ඇති මීට අදාළ කෙටුම්පත අද දිනයේදී අවසන්කිරීමට නියමිත අතර තවත් ධනවත් රටවල් මෙම වැඩපිළිවෙල සඳහා හවුල් කරගැනීමටද නියමිතයි.

ණය ආධාරයක් ලබාදීමට අදාළව ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා ලබන 24 වනදා අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි ප්‍රකාශක ගෙරී රයිස් සඳහන් කලේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථික ප්‍රවණතා පිළිබඳ මූල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරන බවයි.

මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති මත සිටිමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය සැපයීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවද ඔහු අවධාරණය කරනවා.

ඉන්දියාවෙන් ලබාගන්නා ණය පහසුකම් ආපසු ගෙවීම ඉන්දීය රුපියල්වලින් ගෙවිමට ඉන්දීය සංචිත බැංකුව විසින් ශ්‍රී ලංකාවට අනුමැතිය දී තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිළදී ගැනීමට පිරිනමන ඩොලර් බිලියනයක ණය මුදලට ඊට යටත්.

ශ්‍රී ලංකාව දැනට මුහුණදී සිටින ආර්ථික අර්බුදය සැළකිල්ලට ගෙනයි ආසියානු නිෂ්කාෂණ සංගමයේ ප්‍රතිපත්තිවලට බැහැරව යමින් ඉන්දීය සංචිත බැංකුව මෙම තීරණය ගෙන ඇත්තේ.

COMMENTS