ෆෙඩරල් මැතිවරණයට පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම අද සිට

තවත් දින 12 කින් පැවැත්වෙන ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් මැතිවරණයට අදාළ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම අද ආරම්භ වනවා.

මැතිවරණ දිනයේදී ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසු ඡන්ද දායකයන් සඳහායි මෙම අවස්ථාව ලබා දී ඇත්තේ.

මැතිවරණ දිනයට පෙර දින එනම් මැයි 20 වනදා දක්වාම රට පුරා පිහිටුවා ඇති ස්ථාන 500 කට වැඩි සංඛ්‍යාවකදී මෙලෙස පූර්ව ඡන්දය ප්‍රකාශ කල හැකි වනවා.

මැතිවරණ දිනයේදී තම ඡන්ද බල ප්‍රදේශයෙන් බැහැරව සිටින පුද්ගලයන්ට – ඡන්ද මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 08 කට වැඩි දුරකින් සිටින අයට – සේවා ස්ථානයෙන් බැහැරට යා නොහැකි අයට හෝ එදිනට විදෙස් සංචාරයක් ඇති පුද්ගලයන්ට මෙලෙස පූර්ව ඡන්දය ප්‍රකාශ කල හැකි වනවා.

එමෙන්ම ආරක්ෂාව පිළිබඳ සාධාරණ සැකයක් ඇති ඡන්ද දායකයන්ට සහ වසර 03 කට නොවැඩි සිර දඩුවමක් විඳින පුද්ගලයන්ටද අද සිට ලබන 20 වනදා දක්වා ඡන්දය භාවිත කල හැකියි.