
ආර්ථික අර්බුදය නිසා වැඩි ආදායම් සොයා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවෙන් විදේශයන්ට නීති විරෝධී ක්‍රම මගින් පළා යාම සියයට 30 කින් පමණ වැඩිවී ඇතැයි ආරක්ෂක අංශ පවසනවා.
විශේෂයෙන්ම මුහුදු මාර්ගයෙන් පැන යෑම සුලභව සිදුවන හෙයින් බොහෝ මුහුදු කලාපයන්හි නාවික රැකවල් මෑතක සිට තවත් වැඩි කර ඇතැයි නාවික හමුදාව පවසනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවද ඒ සම්බන්ධයෙන් මේ දිනවල නිරන්තර සෙවිල්ලෙන් පසුවන බව ගුවන් හමුදාව කියාසිටියා.

විශේෂයෙන් උතුරේ ප්‍රදේශවලින් ජනතාව ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලට හොර රහසේ පැන යෑම සීඝ්‍රයෙන් වැඩිවී ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කලා.
පසුගිය කාලයේදී උතුරේ පුද්ගලයන් දෙසීයකට ආසන්න පිරිසක් මේ ආකාරයට ඉන්දියාවට පලා ගොස් ඇති අතර කිහිපදෙනෙක් එසේ පැන යෑමට උත්සාහ දැරූ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස පැන යෑම සඳහා සමහර පුද්ගලයන් විවිධ බහුදින ධීවර යාත්‍රා යොදාගෙන ඇතැයි පැවසෙන අතර මේ හේතුවෙන් එම යාත්‍රා සම්බන්ධයෙන්ද මේ දිනවල විශේෂ සෝදිසියකින් පසුවන බව ආරක්ෂක අංශ පවසනවා.