දිගටම අගමැති මහින්දමයි – AusLanka TV – Australian News for the Sri Lankan community

දිගටම අගමැති මහින්දමයි

දිගටම අගමැති මහින්දමයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ අද (21) පස්වරුවේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.

රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ඊට ශක්තිමත්ව මුහුණ දිය යුතු බවත් ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යායුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්  මෙම රැස්වීමේ දී යෝජනා කළේය.

සියලූම මන්ත්‍රීවරුන් ඉහළට අත් ඔසවමින් එම යෝජනාවට ඒකමතිකව සහය පළ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ.සුමිත්  එම යෝජනාව ස්ථිර කළේය.
ඉදිරි සති කිහිපය තුළ ජනතාවට අවශ්‍ය කඩිනම් සහන ලබා දීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී විෂය භාර අමාත්‍යවරු විසින් පැහැදිලි කරනු ලැබූහ.

මෙහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ සති කිහිපයක් ඇතුළත ඉන්ධන සහ විදුලි කප්පාදු ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

ගෑස් ගැටළුවද සති කිහිපයක් ඇතුළත විසඳිය හැකි බව අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මෙහිදී කියා සිටියේය.

උද්ගත වූ තත්ත්වයත් සමග පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අමාත්‍යධුර වලින් ඉවත්ව ලබා දුන් සහයෝගයට පක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන්ගේ ස්තූතිය මෙහිදී පිරිනැමිණි.

නවක අමාත්‍යවරුන්ට ශක්තිමත්ව ඉදිරි කටයුතු කරගෙන යෑමට අවශ්‍යය සහයෝගය ලබාදෙන බවට මන්ත්‍රීවරු මෙහිදී පැවසූහ.

ආණ්ඩුව අස්ථාවර බවට ගෙන යන වැරදි ප්‍රචාර තුළින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දැමීමට යම් යම් පිරිස් කටයුතු කරගෙන යන බවද ආණ්ඩුව අස්ථාවර වීමට පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කිසිසේත් ඉඩ නොතබන බවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මෙහිදී අග්‍රාමාත්‍යතුමාට විශ්වාසය පළ කළහ.

ආණ්ඩුව ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ඉදිරියේදී තවත් ඉහළ යනු ඇතැයි මන්ත්‍රීවරු මෙහිදී ප්‍රකාශ කළහ.

COMMENTS