ඉතිහාසයේ වැඩිම අගයකින් සිපෙට්කෝ ඉන්ධන මිළ වැඩි කරයි

සිපෙට්කෝ ඉන්ධන මිළද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගත්තා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 338 ක් ලෙසින්.

එහි ලීටරයක මිළ වැඩිවීම රුපියල් 84 ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 373 ක් වශයෙන්.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 කින් වැඩි කර ඇති අතර එහි මිල රුපියල් 289 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිපෙට්කෝ සුපර් ඩීසල් ලීටරයක මිළ රුපියල් 75 කින් වැඩි කර ඇති අතර එහි නව මිළ රුපියල් 329 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

නව මිල ගණන් අනුව ඔක්ටේන් 92, අයි ඕ සී පෙට්‍රල් මිල සහ සිපෙට්කෝ පෙට්‍රල් මිල ගණන් සමාන වනවා.

එහෙත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිලට වඩා සිපෙට්කෝ මිල ගණන් රුපියල් හයකින් ඉහළ යනු ඇති.

සිපෙට්කෝ සහ අයි ඕ සී ඔටෝ ඩීසල් මිල සමාන වන නමුත් සිපෙට්කෝ සුපිරි ඩීසල් මිල අයි ඕ සී සමාගමට වඩා රුපියල් 2 කින් ඉහළ දමා තිබෙනවා.

මේ අතර වාහන වර්ගය මත පදනම්ව ඉන්ධන අලෙවි කිරිමට පසුගිය 15 වනදා සිට පැවති උපරිම ඉන්ධන සීමා ඊයේ සිට ඉවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනය කලේ.