
ශ්‍රී ලංකාවට තවත් අමතර ඩොලර් බිලියන 02 ක මූල්‍ය සහනයක් සැපයීමට ඉන්දියාව සූදානමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
මූලාශ්‍ර 05 ක් උපුටා දක්වමිනුයි ඔවුන් මේ බව වාර්තා කර ඇත්තේ.
ආහාර සහ ඉන්ධන සපයන අතරතුරයි ඉන්දියාව විසින් මෙම මූල්‍ය සහනය ලබාදීමට සූදානම් වන්නේ.

විනිමය හුවමාරු පහසුකමක් හෝ ණයක් ලෙස මෙම මූල්‍ය සහනය හිමිවනු ඇති බවද සඳහන්.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය – ශ්‍රී ලංකා රජය හෝ දෙරටෙහි මහ බැංකු විසින් මේ දක්වා කිසිදු නිල තහවුරු කිරීමක් සිදුකර නැතැයිද රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මේ වනවිට ඉන්දියාව විසින් ඩොලර් බිලියන 1.9 ක් වටිනා ණය – ණය පහසුකම් සහ විනිමය හුවමාරු පහසුකම් සළසා ඇති අතර ඉන්ධන සඳහා තවත් ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක්ද ලබාදි තිබෙනවා.