
සංචාරක සහ සත්කාරක සේවා අංශයේ නව්‍යතා සංවර්ධනය සහ ක්ෂේත්‍ර පද්ධති ශක්තිමත් කිරීම සඳහා වූ සහයෝගිතා ගිවිසුමකට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දීපා ලියනගේ සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි පසුගිය දා අත්සන් තැබූහ.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර නිල රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 75ක් සපිරීමට සමගාමීව මෙය සිදු විය.
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සමඟ එක් වී ඔස්ට්‍රේලියානු ආධාර වැඩසටහන යටතේ අන්තර්කරණීය වර්ධනයක් උදෙසා නිපුණතා වැඩසටහන (Skills For Inclusive Growth) (S4IG) ශ්‍රී ලංකාවේ සංචාරක සහ සත්කාර ක්ෂේත්‍රයේ තිරසරත්වයට සහ සංවර්ධනයට අවශ්‍ය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් 2020-2030 නිපුණතා සංවර්ධන දශකයට සමගාමීව ක්‍රියාත්මක කරයි.

සංචාරක ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය, අන්තර්කරණීය වර්ධනයක් උදෙසා නිපුණතා, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, කුසලතා සංවර්ධනය, ආර්ථික වර්ධනය ආදිය පිළිබඳ ක්ෂේත්‍රයේ සියලු දෙනා සමඟ පුළුල් සහයෝගිතාවකින් කටයුතු කිරීමට මේ වැඩසටහන ඉහළ දායකත්වයක් සපයන බව රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ පැවසුවාය.
සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ විෂයන් ඇතුළත් වෘත්තීය අධ්‍යාපනයට ශ්‍රී ලංකාව ප්‍රමුඛතාවක් දිය යුතු බවත්, ආර්ථික වර්ධනය සඳහා ඊට අඛණ්ඩව සහාය දැක්වීමට ඔස්ට්‍රේලියාව ක්‍රියා කරන බවත් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි පැවසුවේය.

S4IGහි මූලික අරමුණු වන්නේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ කුසලතා හා නිපුණතා වර්ධනය කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අවශ්‍ය සම්පත් දායකත්වය දීමයි.
සංචාරක ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති හා සැලසුම් සම්බන්ධීකරණය, ජාතික සහ ග්‍රාමීය මට්ටමින් පාරිසරික හා සංචාරක පද්ධති ශක්තිමත් කිරීම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයට අවස්ථා හා රැකියා දීම මඟින් ජන ජීවිතයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම S4IG වැඩසටහනින් ක්‍රියාත්මක කරන නිපුණතා ආදර්ශන මඟින් අපේක්ෂා කෙරේ.