
ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බවයි ජනාධිපතිවරයා සදහන් කලේ.
අමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ඊයේ හමුවූ අවස්ථාවේදයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව කියාසිටියේ.

සර්ව පාක්ෂික සමුළුවේ දී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිවරයා එහිදී දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ඒ පිළිබඳ ප්‍රසාදය පළ කළ සහකාර ලේකම්වරිය කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දී ඇති බව සදහන්.
