Search

බැසිල්ට උපදෙස් දෙන්න විශේෂඥ කමිටුවක්

ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා පත් කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05 ක් ඉදිරිපත් කර තිබෙනවා.

උපදේශක කමිටුවේ සාමාජිකයන් පළමු වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජාතික ආර්ථික සභාවේ සාමාජිකයන් හමුවෙමිනුයි මෙම යෝජනා මාලාව ඉදිරිපත් කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහාම පත්කිරීම පළමු යෝජනාවයි.

මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම හා මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායම හඳුනාගැනීම තවත් යෝජනා 02 ක්.

ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතු අතර සැපයුම් අවහිරතා මග හරවාගනිමින් විශ්වාසය ඉහළනැංවීමට අවධානය යොමු කල යුතු බවද උපදේශක කමිටුව දන්වා තිබෙනවා.

ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලී පියවර ගත යුතු බව උපදේශක කමිටුව වැඩිදුරටත් යෝජනාකර තිබෙනවා.

මුහුණ දීමට ඇති අභියෝග නිසි ලෙස කළමනාකරණය කරමින් උද්ගතව ඇති ආර්ථික පසුබෑම කෙටි කාලයක දී මගහරවා ගත හැකි බවට උපදේශක කමිටුව විශ්වාසය පළ කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.