
විදේශගත නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයන් නම්‍යශීලීභාවයට ඉඩ හැරීමට ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට විනිමය අනුපාතිකය, විදේශ සේවා නියුක්තිකයින්යේ ප්‍රේෂණ සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ දිරි ගැන්වීම් සඳහා ලබාදුන් දිරි දීමනා මට්ටම ඉක්මවා ගොස් ඇති බව සඳහන්.
ඒ අනුව, පවතින විනිමය අනුපාතිකය මගින් විදේශගත ශ්‍රමිකයින්ගේ විදේශ විනිමය ප්‍රේෂණ සඳහා ඉහළ ප්‍රතිලාභයක් මෙන්ම, අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා ඉහළ රුපියල් අගයක් ලැබෙනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව කියාසිටියේ.

මෙම මෑතකාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.
නවතම නිල දත්තවලට අනුව, මෙම මාසයේ විනිමය අනුපාතිකයේ කැපී පෙනෙන ඉහළයෑම හමුවේ විදේශගත ශ්‍රමිකයන් සහ අපනයනකරුවන් විසින් විධිමත් මාර්ග හරහා විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමෙහි සැලකිය යුතු වර්ධනයක් දැනටමත් පෙන්නුම් කර ඇති බවයි මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.
