අඩු ආදායම් ලාභී ශ්‍රී ලාංකිකයන් සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව – AusLanka TV – Australian News for the Sri Lankan community

අඩු ආදායම් ලාභී ශ්‍රී ලාංකිකයන් සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව

අඩු ආදායම් ලාභී ශ්‍රී ලාංකිකයන් සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව

අඩු ආදායම් ලාභී ශ්‍රී ලාංකිකයන් සඳහා ශිෂ්‍යත්ව පාඨමාලා ලබාදීමට සහ උපාධි, ආචාර්ය උපාධි සඳහා කෙටි පාඨමාලා ලබාදීමට එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල (Cambridge University) ප්‍රධානීන් සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා අතර පැවති සාකච්ඡාවක දී එකඟතා ඇතිවේ.

බ්‍රිතාන්‍යයේ සංචාරය අතරතුර කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පැවති සාකච්ඡාවකට කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සහභාගී වූයේය.

එම සාකච්ඡාවේදී ඉහත එකඟතාව ඇතිව තිබේ.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය – වුල්ෆ්සන් විද්‍යාලය නියෝජනය කරමින් එහි සභාපතිනී මහාචාර්ය ජෙනී ක්ලාක් (Professor Jane Clarke) සහ ලන්ඩන් විධායක අධ්‍යාපන පාසලේ (LSEE) ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ද සිල්වා , විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ජෝන් වයිට් (Professor John White) ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

ඒ අනුව මෙම හමුවේදී සමාජවිද්‍යා, කාන්තා සවිබල ගැන්වීම් ආදී විෂය ක්ෂේත්‍රවලට අදාළ උපාධි සහ ආචාර්ය උපාධි සඳහා කෙටි පාඨමාලා ලබාදීමේ හැකියාව පිළිබඳව හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට දෙපාර්ශවය එකඟ විය.

තව ද කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය LSEE (London School of Executive Education) සමඟ එක්ව අඩු ආදායම්ලාභී පසුබිමක සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ශිෂ්‍යත්ව සමඟ පාඨමාලා ලබාදීමට ද සූදානමින් සිටියි.

ඒ අතර ශ්‍රී ලාංකාවේ අඩු ආදායම්ලාභී දිළිදුකමින් පෙලෙන පවුල්වල කාන්තාවන් සඳහා රැකියා උත්පාදනය කිරීමට වැඩි අවස්ථාවන් සැලසෙන පරිදි පාඨමාලා සකස්කර ක්‍රියාත්මක කිරීම සිය අභිලාෂය බව පියල් නිශාන්ත සඳහන් කළේය.

ඒ සඳහා ලබාදෙන සහයෝගය සම්බන්ධව ද රාජ්‍ය අමාත්‍යවරයා අදාළ පාර්ශ්වයන් වෙත සිය විශේෂ ස්තුතිය ද පළ කර සිටියේය.

COMMENTS