Search

තරගය පැරදුණත් වනිඳුගෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග කැලැන්ඩර වර්ෂයක වැඩිම පන්දුවාර 20 කඩුලු ලාභියාගේ වාර්තාව බිඳ දැමීමට සමත් වුනා.

වනිඳු මේ වසරේ අභිබවා ගියේ මේ දක්වා කඩුලු 32ක් දවාගෙන සිටින දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක තබ්‍රේස් ෂම්සියි.

වනිදු හසරංග 2021 වසරේදී මේ දක්වා කඩුලු 34 ක් ලබා ඇති අතර ඔහු පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක 2 පන්දු යවන්නා ද වනවා.

2021 වසරේ පන්දුවාර 20 තරගවල වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ, ලෝක කුසලානයට ක්‍රීඩා කරන වසරකදී කඩුලු 30 කට වඩා දවා ගත් පන්දු යවන්නන් වන්නේ ෂම්සි සහ වනිඳු හසරංගයි.

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිළ සමග ඊයේ පැවති තරගය ලකුණු 26 කින් ජය ගැනීමට එංගලන්ත පිළ සමත්වුනා. තරගය පැවැත්වුනේ ශාජා හිදියි.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිළ පළමුවෙන් පන්දු යැවීමයි තීරණය කළේ.

එංගලන්තය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4 ක් දැවි ලකුණු 163 ක් රැස් කළා. ජෝස් බට්ලර් නොදැවී ලකුණු 101 යි.

වනිදු හසරංග ලකුණු 21 ට කඩුළු 3 ක් දවාගත්තා.