ඩොලර් 48 ක් නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ කලු පැල්ලමක්

ශ්‍රී ලංකාවට පැමිණි ජර්මනියට අයත් ගුවන් යානයකට කටුනායක ගුවන්තොටුපළ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.

ජර්මනියේ සිට මාලදිවයිනට මගීන් 226 දෙනෙකු සමග පැමිණි ගුවන් යානයක් ඉකුත් සැප්තැම්බර් 26 වනදා පෙරවරු 11.25 ට පමණ කටුනායක ගුවන් තොටුපළට හදිසියේ ගොඩබස්වා ඇත්තේ ගුවන් කලාපයේ පැවැති දැඩි අයහපත් කාලගුණික තත්වය හේතුවෙනුයි.

පස්වරු 01 ට පමණ එම ගුවන් යානය නැවත පිටත්වීමට සූදානම්වූ අවස්ථාවේ නියමිත ගාස්තු ගෙවීම සඳහා පැයකටත් වැඩි කාලයක් ගත කිරීමට අදාළ ගුවන් සමාගමේ නිලධාරීන්ට සිදුවී ඇත්තේ කටුනායක ගුවන්තොටුපළේ තිබූ ක්‍රෙඩිට් කාර්ඩ් යන්ත්‍ර කිහිපයක් අක්‍රියව පැවතීම හමුවේයි.

මෙම සිද්ධිය වඩාත් කතාබහට ලක්ව ඇත්තේ කටුනායක ගුවන් තොටුපළේ සිදුවූ දෝශයකින් අදාළ ජර්මන් ගුවන් යානයට වැඩිපුර කාලයක් රැදී සිටීමට සිදුවූ කාලයටද ශ්‍රී ලංකා ගුවන්තොටුපළ බළධාරීන් අමෙරිකානු ඩොලර් 48 ක ප්‍රමාද ගාස්තුවක් අයකර තිබීමයි.

ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ශෙහාන් සුමනසේකර සඳහන් කලේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

සිද්ධිය පැහැදිලි කර අදාළ ගුවන් සේවා සමාගමට (Condor) ලිඛිත දැනුම්දීමක් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියාසිටියා.

විශය භාර රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට වාර්තාවක් කැඳවා තිඛෙනවා.

ඔහු පැවසුවේ හෙට දිනයේදී එම වාර්තාව තමන්ට ලැබීමට නියමිත බවයි.