
මේ වසරේ ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත (Wellness Tourism Destination 2021 ) පහ අතරට ශ්‍රී ලංකාව තේරී පත්ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පැවසීය.
ගෝලිය සුවතා ආයතනය (Global Wellness Institute) මගින් මෙම නම් කිරිම සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් තිස්සේ පැවතගෙන එන ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව අනුව සුවතා සංචාරක ව්‍යාපාරයට වැඩි ඉඩක් වෙන්ව ඇති බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඇමතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් තත්ත්වයෙන් පසු ලෝකයේ සංචාරකයන් වැඩි පිරිසක් මානසික හා ශරීර සෞඛ්‍ය පිළිබද වැඩි අවධානයක් යොමු කර ඇති බවත් , සුවතා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා රජය කටයුතු කරමින් සිටින බවය.

මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රංශ සංචාරක ප්‍රදර්ශනයට සමගාමීව පැවති සංචාරක අමාත්‍යවරුන්ගේ හමුවේ දි ඇමතිවරයා මේ බව සදහන් කළ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
මේ වන විට ශ්‍රී ලංකාව කොවිඩ් සුරක්ෂිත රටක් බවට පත් ව ඇති බැවින් සංචාරකයින් ශ්‍රී ලංකාවට එවීමට බිය නොවන්න යැයි ලෝකයේ සියලු රටවලින් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග මෙරට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 40,365 ක් බවත් ඉන් කොවිඩ් අසාදිතයන් 323 දෙනෙකු පමණක් වාර්තා වු බවත් පැවසු රණතුංග මහතා කොවිඩ් එන්නත්කරණයත් සමග රට මේ වන විට සංචාරකයන් සදහා පූර්ණ වශයෙන් විවෘතව ඇතැයි ද කීවේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ අපනයන ආදායමෙන් ඩොලර් ට්‍රිලියන 1.3 ක් හා සෘජු සංචාරක දළ දේශීය නිෂ්පාදිතයෙන් ඩොලර් ට්‍රිලියන 2 කට වැඩි පාඩුවක් සිදුව තිබේ. ලොවපුරා සංචාරක ක්ෂේත්‍ර යේ අවධානමකට ලක්ව ඇති රැකියාසංඛ්‍යාව මිලියන 100 කට අධික සංඛ්‍යාවකය.
එහි බලපෑම සංචාරක ක්ෂේත්‍ර යෙන් ඔබ්බට යන බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග මහතා සංචාරකයන්ගේ පැමිණීමේ දැවැන්ත බිද වැටීම 2020 වසරේ ලෝක වෙළදාම 40%කින් පහත වැටීමට හේතු වූ බව ද පෙන්වා දුන්නේය.